වේයන්ගොඩ නගර මධ්‍යයේ වූ "පත්තල ගෙදර" ආණ්ඩුවේ ස්වභාෂා පාඨශාලාව 1941 ජනවාරි 06 දා සිට අත්හදා බැලීමේ කාල සීමාවකින් පසුව, නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ගරු සී. ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය සඳහා නියමු පාසලක් ලෙස සම්බන්ධ කර ගන්නා ලදී. ඒ අනුව, 1943 වර්ෂයේ දී වේයන්ගොඩ, අකුරම්බොඩ හා වීරකැටිය යන ප්‍රදේශවල ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කළ අතර එයින් පළමුව ආරම්භ වූයේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයයි. එවකට එකම භූමියේ පැවති වේයන්ගොඩ ඉංග්‍රීසි පාඨශාලාව ද 1944 වසරේ දී මැදි විදුහලට ම එකතු විය. එම වසරේ දී ම එම ස්ථානයේදීම ආරම්භ කළ ප්‍රායෝගික පාසලත් මධ්‍ය මහා විද්‍යාලයට ම එක්වෙමින් එය තව තවත් පුළුල් කරන්නට විය. 1946 මැයි මස 06 දින සිට මෙම විදුහලෙහි උසස් පෙළ පන්ති ආරම්භ කරන ලදී.
මෙසේ පරිපූර්ණ වූ අපේ පාසල් මාතාව ගරු එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පුරෝගාමිත්වයෙන් නිසංසල පරිසරයක් වූ මාළිගාතැන්න වත්ත වෙත ගෙන යාමට කටයුතු කරන ලදී. එම හරිත භූමියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශාඛා නිර්මාණ ශිල්පයට අනුව ප්‍රධාන ශාලාවකින් ද, නේවාසිකාගාර දෙකකින් ද, විද්‍යාගාර තුනකින් ද, පන්ති කාමර රාශියකින් ද සමන්විතව ගොඩ නැගුණු වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය 1951 සැප්තැම්බර් 03 වන දින ගරු අගමැති මහාමාන්‍ය ඩී. ඇස් සේනානායක මැතිතුමන් අතින් විවෘත විය. 1957 වසරේ දී ලංකාවේ මධ්‍ය මහා විද්‍යාලයකින් මුල් වරට විශ්ව විද්‍යාලයට සිසුන් 4 දෙනෙකු ඇතුළත් වූයේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් වීම විශේෂත්වයකි.
මේ වන විට ලාංකීය අභිමානය දෙස් විදෙස් පතුරන උගතුන්, වියතුන්, ප්‍රාඥයින්, ව්‍යවසායකයින්, ක්‍රීඩකයින්, සෞන්දර්ය ශිල්පීන් ඇතුළු දක්ෂයින් රැසක් බිහිකරන්නට මංපෙත් තැනූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය තවත් විරාජ් කාලක් මෙරට පාසල් අධ්‍යාපනයේ බැබලෙන මිණිපහනක් වනු ඇත.