School Cover
School Principal

Mahagamasekara Maha Vidyalaya

Dompe Division Census ID: 01229

පාසල පිළිබඳ විස්තරය (School Profile & Overview)

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැගෙනහිර සියනෑකෝරලයේ මෙගොඩගොඩ පත්තුවේ දොම්පෙ

මැතිවරණ කොට්ඨාශයේ දොම්පෙ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 390/c, කිතුලකන්ද ග්‍රාමනිළධාරී  වසමට අයත් රදාවාන ග්‍රාමයේ තුංමංහදියේ බප/ගම/මහගමසේකර මහවිද්‍යාලය පිහිටා ඇත.

1872 වර්ෂයේ ඉහළකුඹුර වෙල්යාය ඉස්මත්තේ පිරිමි පාසලද රදාවාන අම්බලම්කොටුව අසල ගැහැණු පාසලද ලෙස ආරම්භ වු විදුහල් ද්විත්වය 1919.03.21 දින එකම පාසලක් ලෙස ගොඩනැගුනේ රදාවාන පදිංචිව සිටි සුරවීර මුහන්දිරම්ගේ දෝන සුසාන හාමිනේ හෙවත් පෙතියාගොඩ මැණිකේ මහත්මිය විසින් පරිත්‍යාග කළ දැනට පාසල පිහිටි අක්කර 3 පර්චස් 80 ක් වූ මැදලන්දවත්ත නම් භූමි භාගයේය.

1932.03.03 දින දක්වා එතෙක් ඉංග්‍රීසි මාධ්‍ය පාසලක්ව තිබූ මෙම පාසල ස්වභාෂා පාසලක් බවට පත්විය. 1934.07.18 දින පළමු ගුරු දෙගුරු සමිතිය පවත්වා ඇත. C/රදාවාන පිරිමි පාසල හා C/රදාවාන ගැහැණු පාසල ලෙස මුල්කාලයේදී  හැඳින්වු මෙම පාසැල් දෙක 1965.01.06 දින ප්‍රාථමික හා පශ්චාත් මිශ්‍ර පාසලක් බවටද, 1965.02.06 දින ප්‍රාථමික හා පශ්චාත් යන කොටස් එක්කර කො//රදාවාන මහා විද්‍යාලය බවටද 1971.02.11 දින කනිෂ්ඨ පන්ති අනුබද්ධ මහා විද්‍යාලයක් බවටද පත් කරන ලදී.

1974 වර්ෂයේදී කන්නිමහර පදිංචි වී සිටි කේ.ඒ.ඩී.කරුණාරත්න රාළහාමි හෙවත් බොල්ලතාවේ රාළහාමි විසින් මෙම පාසලට බුදුමැදුරක් තනවා පරිත්‍යාග කරන ලදී. 1976.07.03 දින මහගමසේකර පුස්තකාලය විවෘත කරන ලදී. 1981.11.26  දින මෙම පාසල බප/ගම්/මහගමසේකර මහා විද්‍යාලය ලෙසට නම් කරන ලද්දේ මෙම පාසලේ ආදිශිෂ්‍යයකු වු ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවෙකු, කවියෙකු  නාට්‍ය, නවකථා සහ කෙටිකතාකරුවෙකු සහ  චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ මහගමසේකර ශූරීන්ට ගරුකිරීමක් වශයෙනි. විදුහලේ ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවය සහ ආදි ශිෂ්‍ය චිත්‍ර හා මුර්ති ශිල්පි මංජුල රුවන් සිරිසේන මහතා විසින් නිමවන ලද සරස්වතී ප්‍රතිමාව ස්ථාපනය කිරීම 1983.09.29 දින සිදුවිය.1995.10.18 දින මෙම විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමද, 2000.01.01 දින මෙම විදුහල වටා ඉදි වූ තාප්පය විවෘත කිරිමද සිදුවිය. 2006 වර්ෂයේදී විදුහලේ පරිගණක ඒකකය ස්ථාපනය කරන ලදී.

විදුහල සමඟ බැඳී පවත්නා සදා අමරණීය මතකයක් වන මහගමසේකර විද්වතානන්ගේ පිළිරුව 2013.01.15 දින මහචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ සුරතින් නිරාවරණය වීම සිදුවිය. ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් ගොඩනගන ලද ආපන ශාලාව 2013 01.16 දින විදුහලට පරිත්‍යාග කිරීම සිදු විය. 2018.09.21 දින විද්‍යාලයේ බුදු මැදුර නවීකරණය කරන ලදී. විදුහලේ භෞතික සම්පත් තව තවත් වැඩි දියුණු කරනු වස් 2019 වසරේ  නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තබන ලදී.

 “සෞභාග්‍යයේ දැක්ම - ජාතික පාසල් 1000 ක් සංවර්ධනය කිරීම” වැඩසටහන යටතේ  ජාතික පාසලක් වශයෙන්  2022 වර්ෂයේ දී නම් කරන ලදී.

මෙම විදුහලෙන් මහගමසේකර මහතා, කේ.ජයතිලක මහතා ,ජයරත්න සමරසේකර මහතා වැනි කලාකරුවන්ද, කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා, ඩී.එල්.ජයරත්න මහතා වැනි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ද එම්..ගුණවර්ධන මහතා වැනි ප්‍රවීන ලේඛකයන්ද, තිලක් සල්පිටි කෝරාල මහතා වැනි නීතිඥයන්ද, එස්.එම්.නිශාන් සේනාරත්න මහතා, මංජුල රුවන් සිරිසේන මහතා වැනි චිත්‍ර හා මුර්ති ශිල්පින් ද, ඩි..චන්ද්‍රසිරි මහතා වැනි විභාග කොමසාරිස්වරුන් ද, ඩී.ඩී.ඩයස් මහතා වැනි ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරුන් ද, නිලූෂා ජයශ්‍රී වැනි වෛද්‍යවරියන්ද, හමුදා නිළධාරින්, ගුරුවරුන්, ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉන්ද්‍රජිත් සම්බන්දප්පෙරුම , ශිවන්ති ජයතිලක, වසන්ත ලක්මාල්, ටිරෝන් ජයතිලක, ක්‍රිෂාන්ති ජයවර්ධන වැනි දක්ෂ ක්‍රීඩකයන්, දක්ෂ ව්‍යාපාරිකයන් වැනි විවිධ ක්ෂේත්‍රවල නියැලුණු දක්ෂ දරුවන් ශ්‍රී ලංකා මාතාවට දායාද කර ඇත

සංඛ්‍යාලේඛන (Statistics)

81
Teachers
1,578
Students

ලියාපදිංචි තොරතුරු (Profile Details)

Principal A.A.C.P.Amarasingha
Contact Number 0332267469
Postal Address Mahagamasekara Maha Vidyalaya,
Thunmanhandiya,
Radawana.